නැනෝප්ලාස්ටික්

ප්ලාස්ටික් යනු අපට නතුවමබැරි බහුඅවයවිකයක් බව ඔබ දැනුවත් කරුණක්.කල්පැවැත්ම ,සැහැල්ලු බව, අවම නිෂ්පාදන වියදම වැනි බොහෝ ලක්ෂණ හේතුවෙන් ගෙවීගිය දශකය තුල මානව ජිවන රටාව වෙනස්කල ද්‍රව්‍යයක්.මේ නිසාම මිනිසාගේ අසීමිත භාවිතයට පත්වුණු ද්‍රව්‍යයක්.භාවිතයෙන් පසු බොහෝ විට මුහුදෙන් නතරවෙන ද්‍රව්‍යයක්.පැසිපික් සාගරය තුල පමණක් එලෙස එක්වූ ප්ලාස්ටික් පැතිර ඇති වපසරීය ගණන් බලා ඇති අන්දමට වර්ග කිලෝමීටර මිලියන 1.6 කට ආසන්නයි.ප්ලාස්ටික් හේතුවෙන් සාගර ජීවි පද්ධතියටත්,ගොඩබිම් පරිසර පද්ධතියටත් ,සාගරය හා ගොඩබිම සමඟ ගණුදෙණු කරන මිනිසාටත් සිදුවන බලපෑම ඉතා සෘජු සහා විශාල බලපෑමක්.එම නිසා ඔබ එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් කැබැල්ලක ඉරණම දැනගැනීම බෙහෙවින් වැදගත්.

ඔබ භාවිතා කරන සාමාන්‍ය ප්ලාස්ටික් කැබැල්ලක් දිරාපත්වීමට බොහෝ කාලයක් ගතවන බව ඔබ අසා ඇති කරුණක්.නමුත් ජලජ (සාගර හෝ මිරිදිය) පරිසරයේදී ,
  1. භුතික ඝට්ටන
  2. පාරජම්බුල කිරණ
  3. ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරීත්වය
වැනි හේතු නිසා පියවි ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා කොටස්වලට මෙම ප්ලාස්ටික් කැඩී යාම සිදුවෙනවා.මෙලෙස කැඩියන ප්ලාස්ටික් කැබලිවල විෂ්කම්භය මිලිමීටර 5 ට ( >5mm) වඩා අඩු වූ විට එම කැබලි මයික්‍රෝප්ලාස්ටික් (microplastics) ලෙස හදුන්වනවා.නමුත් මයික්‍රෝප්ලාස්ටික් අධ්‍යනයේදී වඩාත්ම කුඩා (නෝනෝ මීටර් 100 වඩා අඩු) ප්ලාස්ටික් අංශු අධ්‍යනය ඉතාමත් අපහසු කාර්යයක්.ඊට ප්‍රධානතම හේතුව එතරම් කුඩා ප්ලාස්ටික් අංශු විද්‍යාත්මක උපකරණ වලට හසුකරගැනීමට ඇති අපහසුතාව.එම නිසා එවැනි ප්‍රමාණයේ පලස්ටික් අංශු පිළිබද හැදෑරීමේ නව විෂයපථයක් ලෙස නැනෝප්ලාස්ටික් අංශු පිළිබද අධ්‍යනය මෑත භාගයේ කරලියට පැමිණෙනවා.

මොනවද මේ නැනෝප්ලාස්ටික් ?

නැනෝ යනු ඉතා කුඩා ප්‍රමාණයක් (10-9) දැක්වීමට යොදාගන්නා සංකේතයක්.නැනෝප්ලාස්ටික් යන්න නිවැරදි අර්ථ දැක්වීමක් සැපයීම දැනට තරමක් අපහසු කාර්යයක්.මන්ද නැනෝප්ලාස්ටික් අංශු වල පරිමාණ සම්බන්දයෙන් විද්‍යාඥයින් විසින් තවමත් වඩාත් නිවැරදි එකාගතාවයකට පැමිණ නොමැතිවීම.නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් කතාකිරීමේදී නැනෝ අංශු වල සම්මත පරිමාණය ,දිග,පළල හා උස අතරින් එක් පසක් හෝ නැනෝ මීටර 1 සිට 100 පරාසය තුල ඇති අංශු නැනෝ අංශු ලෙස සලකනවා.එම නිසා බොහෝ විද්‍යාඥයින් නැනෝප්ලාස්ටික් අංශු අර්ථ දැක්වීමට ඉහත පරිමාණයම (1-100 nm) යොදා ගැනීම දක්නට ලැබෙනවා.නමුත් සමහර විද්‍යාත්මක පරික්ෂණ වලදී නැනෝප්ලාස්ටික් අංශු වල පරිමාණ ලෙස නනෝ මීටර 1-1000 පරාසය යොදාගෙන තිබීම දක්නට පුළුවන්.කෙසේ නමුත් නැනෝප්ලාස්ටික් ලෙස විෂ්කම්භය නැනෝමීටර් 1 ත් 100 ත් අතර ප්ලාස්ටික් අංශු සැලකීම තරමක් තාර්කිකයි.

නැනෝප්ලාස්ටික් ගැන දැනගැනීම එච්චරම වැදගත් ඇයි?

නැනෝ යනු ඉතාමත් කුඩා ප්‍රමාණයක් බව මා ඉහත සදහන් කළා.සාමාන්‍ය වස්තුන් නැනෝ පරිමාණයට කුඩා වීමේදී ඒවායේ ලක්ෂණ බෙහෙවින් වෙනස්වීමට භාජනය වෙනවා.නැනෝතාක්ෂණයට මෙතරම් ඉල්ලුමක් තිබෙන්නේත් මේ වස්තුන් කුඩාවීමේදී ඒවායේ ලක්ෂණ සීග්‍රයෙන් වෙනස් වන නිසා.වෙනත් වස්තුන් වගේම ප්ලාස්ටික් ද ඉතා කුඩා නැනෝ මීටර් පරිමාණයට කුඩාවීමේදී එම කුඩා අංශුන්ගේ ලක්ෂණ විශාල ප්ලාස්ටික් කැබැල්ලක ලක්ෂණ වලට වඩා අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා.එම නිසා විශාල ප්ලාස්ටික් කැබැල්ලක ලක්ෂණ හා නැනෝ පරිමාණයේ ප්ලාස්ටික් කැබැල්ලක ලක්ෂණ සමානයැයි උපකල්පනක්ය කිරීම අපහසුයි.විශාල ප්ලාස්ටික් කැබැල්ලක් මිනිසාට විෂ සහිත නොවුනත් ,නැනෝ පරිමාණයේ ප්ලාස්ටික් කැබැල්ලක් විෂ වීමේ හැකියාව වැඩි.

තවද,ඉතා කුඩා පරිමාණයේ බැවින් පහසුවෙන් ජීවි දේහ තුලට ඇතුල්වීමේ හැකියාව සහා ජීවි දේහ තුල එක්රැස් වීමේ හැකියාව නැනෝපරිමාණයේ ප්ලාස්ටික් අංශු වලට ඉහලයි.එම නිසා නැනෝපල්ස්ටික් ජීවි දේහ තුලට හානිදායි වීමේ හැකියාව බෙහෙවින් ඉහලයි.එම නිසාම නැනෝප්ලාස්ටික් පිළිබද අධ්‍යනය බෙහෙවින් වැදගත්.

ප්‍රභව

නැනෝපල්ස්ටික් අංශු වල ඉපදීම විශාල ප්ලාස්ටික් අංශුවලින් බව මා ඉහත සදහන් කළා .නමුත් ගැඹුරින් අධ්‍යනයේදී නැනෝප්ලාස්ටික් පරිසරයට එක්වන ප්‍රභව ප්‍රධාන කොටස් දෙකක් යටතේ හැදෑරිය හැකියි.

ප්‍රථමික ප්‍රභව (primary sources)

ප්ලාස්ටික් නිෂ්පාදන ක්‍රියාවලියේදී හෝ නිමි නිෂ්පාදන ඔස්සේ පරිසරයට නැනෝ පරිමාණයේ ප්ලාස්ටික් අංශු එක්වෙනවා.සමහර රූපලාවන්‍ය නිෂ්පාදන ,තීන්ත ,ඉලෙක්ට්‍රොනික උපාංග මෙලෙස නැනෝ පරිමාණයේ ප්ලාස්ටික් භාවිතා කරන අවස්ථා කිහිපයක්.ත්‍රිමාණ මුද්‍රණය කටයුතුවලදීද නැනෝ පරිමාණයේ බහුඅවයවික අංශු (~11–116 nm) පරිසරයට එකතුවන බව මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ද්විතියික ප්‍රභව (secondary sources)

මෙහිදී ප්ලාස්ටික් කුඩා කොටස් වලට ඛණ්ඩනය වීමකට ලක්වෙනවා.(Nano fragmentation).මෙයද ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කළ හැකියි.

1.සෘජු නැනෝ ඛණ්ඩනය (direct Nano fragmentation) - ප්‍රධාන

2.ක්‍රමානුකූලව සිදුවන විශාලත්වය අඩුවීම (gradual size-reductions) - සුළු

සෘජු නැනෝ ඛණ්ඩනය ප්‍රධාන ලෙස සිදුවන ක්‍රියාවලිය වන අතර එය විශාල සහා මයික්‍රෝ ප්ලාස්ටික් පෘෂ්ඨ මත සිදුවෙනවා.මෙමගින් නැනෝ පරිමාණයේ ප්ලස්ටික් අංශු මෙම පෘෂ්ඨ වලින් ගැලවී ඉවත්වෙනවා.

ක්‍රමානුකූලව සිදුවන විශාලත්වය අඩුවීම රසායනික ක්‍රියාවලි නිසා සිදුවන හායනය නිසා සිදුවන අතර මෙයට ඉතා විශාල කාලයක් ගතවෙනවා .එම නිසා මෙමගින් පරිසරයට එක්වන නැනොප්ලස්ටික් අංශු ප්‍රමාණය සාපේක්ෂව ඉතා අඩු අගයක පවතිනවා.

නැනෝප්ලාස්ටික් ඇත්තටම හානිකරද ?

මිනිසුන් සම්බන්ධ කරගනිමින් නැනෝප්ලාස්ටික් සම්බන්ධයෙන් සිදුකෙරි ඇති විද්‍යාත්මක අධ්‍යන තවමත් හමු නොවන අතර මත්ස්‍යන් සහා වෙනත් මුහුදු ජීවින් යොදාගෙන සිදුකල අධ්‍යනවලදී නැනෝප්ලාස්ටික් මගින් ඔවුන්ට හානිකර ප්‍රතිපල ඇතිකරන බවට සනාථ වී තිබෙනවා.මත්සයින් යොදාගෙන සිදුකල අධ්‍යනයකදී නැනෝප්ලාස්ටික් අංශු මගින් ඔවුන්ගේ මොළයේ සංකූලතා ඇතිකරන බවත්,ඔවුන්ගේ හැසිරීම් රටා වෙනස්කරන බවත් හෙළිවී තිබෙනවා(Mattsson, Johnson, Malmendal, & Linse, 2017).පොලිස්ටිරින් (polystyrene) නැනෝප්ලස්ටික් අංශු හා Daphnia galeata නම් කුඩා මිරිදිය ජීවියා යොදාගෙන සිදුකල අධ්‍යනයකදී මෙම පොලිස්ට්යරින් නැනෝප්ලාස්ටික් අංශු මගින් එම ජීවියාගේ ප්‍රජනන ක්‍රියාවලියට භාදා පමුණුවන බව හෙළිවී තිබෙනවා.

කෙසේ නමුත් නැනෝප්ලාස්ටික් සැබවින්ම මිනිසුන්ට හා අනෙකුත් ජිවින්ට හානිදයකද නැතිද යන්න නිගමනය කිරීමට තවත් බොහෝ නිවැරදි විද්‍යාත්මක අධ්‍යන අවශ්‍ය වෙනවා.

නැනෝප්ලාස්ටික් සහා අභියෝග

ඉහත අප සදහන් කල සියලු පරීක්ෂණ විද්‍යාගාර තත්ත්ව යටතේ සිදුකල ඒවා වන අතර නමුත් සැබෑ නැනොප්ලස්ටික් සැරිසරන්නේ අතිශය සංකිර්ණ පරිසර පද්ධති තුලයි.මෙවැනි සංකිර්ණ පරිසර පද්ධතියකදී ඉතා කුඩා ප්‍රමාණයේ සහා ඉතා කුඩා සාන්ද්‍රණ වලින් ඇති නැනෝප්ලාස්ටික් අංශු වල හැසිරීම අධ්‍යනය බෙහෙවින් අපහසු කාර්යයක්.එම නිසා අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය නම් මෙම අංශු සංකීර්ණ පරිසර පද්ධතියක් තුල ලුහුබැඳ යාමේ ක්‍රමවේදයක් සොයාගැනීමයි.එමගින් නැනොප්ලස්ටික් ජීවි දේහ තුල හැසිරීම මනාව අධ්‍යනය කල හැකියි.

දැනටමත් විද්‍යාඥයින් විසින් ලෝහ අන්තර්ගත නැනෝපරිමාණයේ ප්ලාස්ටික් අංශු සාදාගැනීමේ ක්‍රමයක් සොයාගෙන ඇති අතර එමගින් පහසුවෙන් මෙම නැනෝපරිමාණයේ අංශු ජීවි දේහතුලදී හදුනාගත හැකිබව පැවසේ.එබැවින් නුදුරු අනාගතයේදීම නැනෝප්ලාස්ටික් වල සැබෑ ඉරණම ඔබටත් මටත් දැකගත හැකිවනු ඇතැයි බලාපොරොත්තු දල්වා සිටිමු.

This article was sent in by Sanjaya Viraj Bandara and Prabhavi S Dias. Both of them are final year undergraduates, specializing in Chemistry, from Faculty of Science, University of Peradeniya. You can reach them on LinkedIn from here and here , or you can email them from here and here .

Post a Comment

0 Comments