පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි?



ඔබ පීසා ගැන අසා ඇතුවාට  සැකයක් නැත. එහෙත් ඔබ පීසා හි ඇලවුණු කුළුණ ගැන අසා තිබේද? ඉතාලියේ පීසා නගරයෙහි ඇති මෙම ප‍්‍රසිද්ධ කුළුණ ක‍්‍රි.ව. 1200 ක් 1400 ක් අතර කාලයේ ඉදි කෙරුණකි. පීසා ආසන දෙව් මැදුරෙහි (cathedral) ඝණ්ඨාර කුළුණ ලෙස සැලසුම් කළ මෙය, සිතාමතා ඇලව ඉදිකල කුළුණක් නොවේ. බුරුල් පස් මත ඉදිකල නොගැඹුරු අත්තිකාරමක් ගිලාබැසීම නිසා ආරම්භයේ පටන්ම කුළුණ පසෙකට ඇලවී තිබේ. නමුත් වසර 800 කට පසුවත් තවමත් එය පෙරළී නැත. ඒ ඇයි? මෙම ප‍්‍රශ්නයට පිළිතුර සෙවීමට අපට ස්කන්ධ කේන්ද්‍රය පිළිබඳ දැනගැනීමට අවශ්‍යය.
පීසා හි ඇලවුණු කුළුණ

 ඔබ කොතරම් බරද? කි.ග‍්‍රෑම් 60 ක් යැයි කියමු. (කිලෝග‍්‍රෑම් වලින් බර මැනීම වැරදිය. එය වෙනම මාතෘකාවකි) මේ බර තිබෙන්නේ කොහේද? ඔබේ අතක් කි.ග‍්‍රෑම් 5 ක් බර විය හැක. ඔබගේ හිස කි.ග‍්‍රෑම් 3 ක් පමණ විය හැක. ඔබ සූමෝ ක‍්‍රීඩකයකු (හෝ දේශපාලනඥයකු) නොවේ නම් ඔබේ උදරය කි.ග‍්‍රෑම් 10 ක් වනු ඇත. මෙසේ ශරීරිය පුරාම ඔබේ බර විසිරී පවතියි. නමුත් මෙම බර සියල්ලට එක් ලක්ෂයකට කැටිකළ හොත්, එම ලක්ෂය කොහේ තිබේදැයි සිතන්න. ශරීරයේ සමමිතිය අනුව, මෙය ඔබේ නාභියට මදක් ඉහළින්, උදරය තුළ පිහිටනු ඇත. නමුත් මෙය සත්‍ය වන්නේ ඔබ නිසලව සිටීනම් පමණකි. ඔබේ ශරීරයේ  ඕනෑම අවයවයක් චලනය කළ විට, මෙම ලක්ෂය සුළු ප‍්‍රමාණයකින් වෙනස් වේ. ශරීරයේ ස්කන්ධය  කේන්ද්‍රවී ඇති මෙම ලක්ෂයට අපි ස්කන්ධ කේන්ද්‍රය යැයි කියමු. සෑම භෞතික වස්තුවකට ස්කන්ධ කේන්ද්‍රයක් තිබේ. ගුරුත්වය විසින් වස්තුව පොළොවට ඇදගන්නේ මෙම ලක්ෂයෙන් යැයි සලකන නිසා, මෙයට ගුරුත්ව කේන්ද්‍රය කියාද කියනු ලැබේ.

                වස්තුවක් පෙරළීමෙන් තොරව තිබීමට නම්, මෙම ස්කන්ධ කේන්ද්‍රයෙන් අඳින  ලද අභිලම්භය, එහි පාදම තුළ පැවතිය යුතුය. ඉහත රූපය දෙස බලන්න. එහි සිලින්ඩර 2ම ස්කන්ධ කේන්ද්‍රයෙන් පහළට අභිලම්භ 2 ක් ඇද ඇත. පළමු සිලින්ඩරයේ මෙම රේඛාව පාදම තුළ පිහිටන බැවින් එය පෙරළෙන්නේ නැත. දෙවැනි සිලින්ඩරයේ මෙම රේඛාව පාදමෙන් ඉවතට පතිත වන බැවින් එය පෙරළිය යුතුය. මෙය මිනිස් ශරීරයට ද වලංගුය. මාව විශ්වාස නැත්නම් ඔබේ දෙපා ලංකර තබාගෙන ඉදිරියට නැවීමට උත්සහ කරන්න. ඔබේ ගුරුත්ව කේන්ද්‍රය දෙපා වලින් ඉදිරියට පැමිණි වහාම ඔබ ඇද වැටෙනු ඇත. වඩා උස හා පටු වස්තු (උදා: පොත් රාක්ක) ඉතා පහසුවෙන් පෙරළීමටත්, කොට පළල් වස්තු (උදා: මේස) වඩා ස්ථාවර වීමටත් හේතුව දැන් ඔබට වැටහෙනවා ඇත. ඔබ ජීවිත කාලය පුරාවට දැන හෝ නොදැන මෙම භෞතික විද්‍යා මූලධර්මය භාවිතා කළේයැයි ඔබ පිළිගන්නවාද? හිටගෙන බස් රථයක ගමන් ගන්නා  විට ඔබ දෙපා ඈත්කර තබාගන්නේද, පොතක් මේසයක් මත තබන විට එය හිටවා නොතබා පෙරළා තබන්නේද, මේ හේතුව නිසාමය. හරි, දැන් මා ඔබට අභියෝගයක් කරමි.
රූපය-වයි පෙරල්මාන් ගේ භෞතික විද්‍යා විනෝදය
                අත්වාරු රහිත සාමාන්‍ය පුටුවක, රූපයේ පරිදි අසුන් ගන්න. දැන් නැගිටින්නට උත්සහ කරන්න. නමුත් කොන්දේසි වන්නේ, ඔබට ඉදිරියට නැවීමට හෝ දෙපා පසුපසට කිරීමට අවසර නැත. කොතරම් වෙර යෙදුවද ඔබට මෙය කළ නොහැකිවනු ඇත. මීට හේතුව ඔබ අසුන්ගෙන සිටියදී ඔබේ ස්කන්ධ කේන්ද්‍රය පුටුවේ පාදම තුළ පිහිටීමයි. නැගිටීමේදී මෙය ඔබේ දෙපා තුළට පැමිණිය යුතුය. එයට ඔබ පාද පසුපසට ගැනිම හෝ ඔබ ඉදිරියට නැමීම සිදුකළ යුතුමය. ජීවිත කාලය පුරාම ඔබ නොදැනුවත්වම මෙය සිදුකළා නොවේද? බලන්න භෞතික විද්‍යාවේ ආශ්චර්යය!
                දැන් නැවතත් ඇලවු කුළුණ වෙත එමු. ඔබ හොඳින් බැලූවහොත්, එහි ස්කන්ධ කේන්ද්‍රයේ අභිලම්භය පාදම තුළ පිහිටන බව පෙනෙනු ඇත. කුළුණ නොපෙරළීමට ප‍්‍රධාන හේතුව මෙයයි. මීට අමතරව ගැඹුරට කිදාබැස ඇති අත්තිවාරමද මෙයට තවත් හේතුවකි. තවද, නූතනයේ සිදුකළ  නවීකරණ මගින් කුළුනේ ස්කන්ධ කේන්ද්‍රය  බෑවුමෙන් ඉවතට ගෙනයාමට කටයුතු කර ඇත.මේ සියළු හේතු නිසා කුළුණ දැනට (සහ පෙනෙන තෙක් මානයේ අනාගතයට) නොවැටී පවතියි. දැන් ඔබ කුළුණ පෙරළෙන්නේ නැතිවන්නට හේතුවත්, ස්කන්ධ කේන්ද්‍රයත් ගැන දන්නා බැවින් පහත ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්නට උත්සහ කරන්න. රූපයේ දැක්වෙන යතුරුපැදිකරුගේ ස්කන්ධ කේන්ද්‍රය පැහැදිලිවම ඔහුගේ පාදමෙන් ඉවත පවතියි. ඉතින් ඔහු නොවැටී සිටින්නේ කෙසේ ද? පිළිතුර කොමෙන්ටුවක් ලෙස සඳහන් කර වටිනා ත්‍යාගයක් දිනාගන්නට අවස්ථාව ලබාගන්න.

Post a Comment

0 Comments